පොදු ජනතාව ආගම නිවැරදි හා සත්‍ය ලෙස අදහති.විචාරශීලී මිනිසුන් ආගම තුල දුර්වලතාවන් හා වැරදි මගපෙන්වීම් දකිති.දේශපාලකයන් ආගම් ඉතාම ප්‍රයෝජනවත් උපාංග ලෙස දකිති.”

සෙනෙකා.  (ක්‍රිස්තු පූර්ව 65 – 4.)

 Religion is regarded by the common people as true, by the wise as false, and by rulers as useful. — Seneca.

ආදම් හා ඒව .. ආබ්‍රහමික් ආගම් වලට අනුව ලොව පලමු මිනිසා හා ගැහැණිය

බුර්කාව ඉස්ලාම් ආගමේ නියමයක්ද..?

දවසක් මගේ මිත්‍රයෙක් ප්‍රශ්ණයක් ඇහුව.  මේකට කෙටි උත්තරයක් දුන්නොත් ඒක අසාධාරණයි. මේ ගැන ලෝක ජනගහනයෙන් 99% ක් දෙන්නෙ වැරදි උත්තර.

දෙවනි ප්‍රශ්ණය..

යුදෙව්.. ක්‍රිස්තියානි හා මුස්ලිම් කියන ප්‍රධාන ආගම් තුන අදහන්නෙ එකම දෙවියෙක් නම්.. ඇයි මේ කොට්ඨාශ  තුනම එකම ආගමක් නොවන්නෙ.?මේ තුන් කොටසම විශ්වාස කරන්නෙ සර්ව බලධාරී  දෙවියන් විසින් ලෝකය මැවූ බවත් ආදම් හා ඒව ලොව ප්‍රථම ගැහැනිය හා මිනිසා බවත් කියන කාරණය නම් ඇයි මේ අය ගහ මරා ගන්නෙ.?නෝවාගේ කාලය තුල සිදුවූ ගං වතුරෙන් ලෝකය විනාශ වීමත් මේ අය පිලිගන්නව. ඒත් එක්කම ආබ්‍රහම් මේ සියළු දෙනාගේම පියා විදිහටත් මේ අය පිලිගන්නව.

එහෙම නම් මේ තුන් ගොල්ල එකිනෙකාට අකමැති හෝ මොන හේතුවක් නිසාද .. එහෙමත් නැත්තං මේ අය යුද්ධ කරන්නෙ මොන කාරණයක් මතද කියන ප්‍රශ්ණය බොහෝ දෙනෙක් අහනව.  නමුත් වැඩි දෙනෙක් දෙන උත්තර වැරදියි.ඒකට උත්තර දෙන්න අපිට අතීතයට යන්නම වෙනව. ඉතිහාසය .. ආගම් තුන ගැන සරල දැනුම හා මේ අයගෙ සංස්කෘතික ලක්ශණ ගැන දන්නෙ නැතිව මේ ප්‍රශ්ණයට උත්තර දෙන්න අමාරුයි.

මේ හැමෝම දන්න සාමාන්‍ය කරුණු එක තැනකට ගැනීමේ සාමාන්‍ය උත්සාහයක් විතරයි.ආගම.. ජාතිය.. ඉතිහාසය ගැන කතා කරන්න අමාරුයි බැණුම් අහන්නෙ නැතිව.

මේ ලිපියේ අරමුණ ආගම් විවේචනය වත් එක් ආගමකට වඩා අනෙක් ආගම හොඳයි කියන එකවත් නෙවේ. නමුත් සරලව ඉතිහාස සිදුවීම් හා ආගම් තුලින් කියන දේ ගැන කතා කිරීමයි මේ තුලින් වෙන්නෙ.

අනිත් අතින් විශ්වාසය මත පදනම් වූ ආගම් ගැන කතා කල යුත්තේ විශ්වාසයන්ට පහර එල්ල නොකර බොහොම පරිස්සමින්. ඔබ  ආගම් අදහන්නෙක් නම් මේ ලිපි කීපය  අතීත සිදුවීම් විශ්ලේශණයක් විදිහට සැලකුවොත් ඒ ඒ කාලවල් ගැන මතකයන් අළුත් කර ගන්න උදව් වේවි.

අපි තේරුම් ගතයුතු පලමු කාරණය තමයි ආගමක් නිවැරදිව තේරුම් ගත් කෙනෙක්ට අනෙකුත් ආගම් අදහන සමාජ හෝ මිනිසුන්  එක්ක තරඟයක් නෑ කියන එක.

විද්‍යාවට අනුව අපි ජීවත් වෙන ලෝකය නැත්නම් පෘථිවිය අවුරුදු බිලියන 4.543 ක් පැරනියි.

ලෝකයේ පලමු ජීවියා බිහිවෙන්නෙ අවුරුදු බිලියන 3.7 කට කලින්. ඩයිනෝසෝරයන්ගේ වඳවීම සටහන් වෙන්නෙ අවුරුදු මිලියන 65 කට කලින්.  මේ සිදුවීම් එක්ක බලද්දි මිනිසා කියන්නෙ ඉතාම මෑතකදි බිහිවූ සත්වයෙක්. වානරයා  මිනිසාගෙන් වෙන් කරල හඳුනා ගන්න එක ලේසි පහසු කාරණාවක් නෙවේ. නමුත් අවුරුදු මිලියන පහකට පමන පෙර බිහිවූ වානරයන් පලමුව ගල් ආයුධ පාවිච්චි කරන්න පටන් ගන්නෙ අදට වසර මිලියන දෙක හමාරකට වගේ ඉස්සර. හෝමෝ සේපියන්ස්ගේ ආරම්භය අදින් වසර 300,000 කලින් සටහන් වුනත් මිනිසුන් ලෙස එකතුවෙලා පලමු ශිෂ්ඨාචාරය බිහිවෙන්නෙ ඊට බොහෝ කාලෙකට පස්සෙ .

වසර 300,000කට කලින් අපේ අය ජීවත් වුනා කියල වැඩිය ආඩම්භර වෙන්න ඕනෙ නෑ….. මදුරුවා ලෝකයට පහල වෙන්නෙ දැනට වසර මිලියන 75 කට කලින්.

ආගම් බිහිවීමේ පරිසරය තේරුම් ගන්න මිනිසා පහු කරපු යුග ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න වෙනව.  මිනිසා විසින් පහුකරපු යුග මොනවද.?

ගල් යුගය. ගල් යුගය පටන් ගන්නෙ වසර මිලියන 2.6 කට කලින්.  ගල් යුගය කියල කියන්නෙ ඒ කාලෙ ජීවත් වූ මානවයන් ඉදිකිරීම් හෝ ආයුධ ලෙස පාවිච්චි කලේ ගල් හෙවත් පාශාණ වීමයි.  ඒ අයගෙන් වැඩි දෙනා ජීවත් වුනේ ගල් ගෙවල් වල. ගල් යුගය අවසන් වෙන්නෙ අදින් වසර හයදාකට වගේ කලින් කියල අපි දල වශයෙන් අනුමාන කරමු. ගල් යුගයේ අවසන් කාල පරිච්ඡේදය ඇතුලෙ තමයි මිනිස්සු ගල් ..ලී හා දැව එකතු කරල වාසස්ථාන හදන්නෙත් .. සත්ව පාලනයට අමතරව ගොවි තැන පටන් ගන්නෙත්. ගල් යුගයේ අවසන් කාල පරිච්ඡේදයට අපි කියනව නියෝලිතික් කාල පරිච්ඡේදය කියල.  ( ලිතෝස් කියන්නෙ ග්‍රීක භාශාවෙන් ගල් කියන  අර්ථය දෙන වචනයක්).

ලෝකඩ යුගය. ( බ්‍රෝන්ස් ඒජ්)  ක්‍රිස්තු පූර්ව 3300-1200  අතර කාලය. මේ කාල පරිච්ඡේද විවිධ කලාප අනුව පොඩ්ඩක් වෙනස් වෙනව. ඒ කියන්නෙ සමහර කලාප සාපේක්ශව වඩා නිර්මාණශීලී වෙනව නව සොයා ගැනීම් සම්භන්ධව.

යකඩ යුගය. ( ක්‍රිස්තු පූර්ව 1200ත් 600 ත් අතර කාලය).

 ක්‍රිස්තු පූර්ව 623 දී තමයි ගෞතම සිද්ධාර්ථ ලෙස බුදු බවට පත්වෙන සිදුහත් කුමාරයාගේ උපත සිදුවෙන්නෙ. ඒ කියන්නෙ මේ දරුවා උපදින්නෙ යකඩ යුගයේ අවසන් කාල පරිච්ඡේදයේදී.( ඒ සංසන්ධනය කිරීමේ පහසුවට)

ඊට අමතරව පරිශීලනයේ පහසුවට මෙන්න මේ ආකාරයටත් ඉතිහාසය බෙදා වෙන් කරන්න පුළුවන්.

ආදිතම ඓතිහාසික යුගය –  Prehistoric Period   -වසර මිලියන 2.5 කට පෙර ඉඳල ක්‍රිස්තු පූර්ව 1200 දක්වා යුගය.

පුරාතනය යුගය. – Ancient Times ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු වර්ශ 476  දක්වා.

මධ්‍යතන යුගය  –  The Middle Ages  ක්‍රිස්තු වර්ශ 476 සිට  1450 දක්වා.

මුල් නූතන යුගය – Early Modern Era ක්‍රිව 1450 සිට 1750 දක්වා.

නූතන යුගය.  –     Modern Era 1750 සිට අද දක්වා.

Mesopotamia Valley

දැන් අපි ඊලඟට අහන ප්‍රශ්ණය ලෝකයේ පැරනිම ආගම මොකක්ද කියල.  උත්තරය හින්දු ආගම.

අදින් වසර 5000ත් 6000ත් අතර කාලයේ තමයි ලෝකයේ  පලමු ශිෂ්ඨාචාරය බිහිවෙන්නෙ යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා මුල් කරගෙන. ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 3000- 4000 අතර කාලය. (සංස්කෘතියක් හෝ ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද කියල අපි මීට කලින් ලිපියක විස්තර ඇතිව කතා කල නිසා ඒ ගැන ආයෙ පැහැදිලි කල යුතු නෑ.) ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයිති කාලය තමයි ක්‍රිස්තු පූර්ව 3300- 1300 අතර කාලය.

කොයි කාලෙද හින්දු ආගම පටන් ගන්නෙ.? ක්‍රිස්‍ර්තු පූර්ව 2300 -1500 කාලයේ තමයි හින්දු ආගම නිර්මාණය වෙන්නෙ. (අදින් වසර පන්දාස් පන්සීයකට පමන පෙර.) කෙනෙකුට අහන්න පුළුවන් ඊජිප්තුවරුන්ගෙ ආගම එහෙත් නැත්තං පර්සියාවෙ ආගම් ගැන.සෝරෝස්ට්‍රියානිස්ම් ( Zorostrianism ) ආගම පර්සියාවෙ බිහිවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 6000 පමන කාලයේ. ඊජිප්තුවේ පාරාවෝ වරුන්ගෙ ආගම පොලිතෙයිස්ටික්  ( Polytheistic)  ක්‍රිස්තු පූර්ව 3000 වගේ කාලයේදී ආරම්භ වෙන්නෙ.ඒ කාලයේ අරාබි හා පර්සියානු කලාප වල.. ඉන්දු නිම්න කලාප වල විවිධ දෙවිවරුන්ව  අදහනව. විවිධ ඇදහීම් ක්‍රම අනුගමනය කරන්ව.

පර්සියානු සොරස්ට්‍රීනියම් ආගම බිහිවෙන්නෙ දැනට අවුරුදු හාරදාහකට විතර කලින්.

 ඇයි ඒ ආගම් පැරනි ආගම් විදිහට සලකන්නෙ නැත්තෙ.?

“ආගම  විශ්වාසය මත පදනම්ව ඇත්නම් … තමන් තමන්ව විශ්වාස කිරීම මෙතෙක් මා අත්දුටු එකම ආගමයි.” Believe in my self the Best religion I ever have experienced. 

සෝරෝස්ට්‍රියානිස්ම් හෝ  පොලිතෙයිස්ටික් ඇයි ලොව පැරනිම ආගම් විදිහට සලකන්නෙ නැත්තෙ. ? ඒ විතරක් නෙවේ  ඓතිහාසික වෙදික් ආගම තිබුනෙත් හින්දු ආගමට කලින් . මේ ප්‍රශ්ණය පිළිතුරු දෙන්න පහසු ප්‍රශ්ණයක් නෙවේ. ඒ ආගම් හෝ ඇදහිලි නිවැරදිව විග්‍රහ කරන පොත් පත් අද අපිට හොයා ගන්න අමාරුයි. ඒ එක්කම විවිධ ගෝත්‍ර තුල.. විවීධ කණ්ඩායම් තුල මේ ඇදහිලි ක්‍රම එකිනෙකට වෙනස්. එතකොට ලේසි පහසු නෑ මේ ආගම් වෙන් වෙන්ව හඳුනා ගන්න. ඒත් එක්කම සමහර ආගම් චාරිත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.. තවත් ආගම් කොටස් අතුරුදන් වෙලා.  එතකොට ඒ ආගම් කලින් තිබුනු ආගම් හා ඇදහිලි වලින් වෙනස්.

ආගම් බිහිවෙන්නෙ ඇයි.?

ගල් යුගයේ ආගම් තිබ්බෙ නෑ.. නමුත් මිනිස්සු ජීවත් වුනා. කෙනෙකුට කියන්න පුළුවන්. ගල් යුගයේ අවසාන යුගයෙදි මිනිස්සුන්ගෙ සංනිවේදනය දියුණු වෙනව. විවිධ භාශා දියුණු වෙනව. ඒ අය එකිනෙකා එක්ක අදහස් හුවමාරු කර ගන්නව විවීධ විශයයන් ගැන. ඒ හරහා  ආගම් බිහිවීමට පෙර විවිධ චාරිත්‍ර හා ඇදහිලි බිහිවෙනව මනුශ්‍ය කණ්ඩායම් අතර. තේරුම් ගැනීමට අපහසු ඔනෑම වස්තුවකට හෝ අවස්ථාවකට ගරු සැලකිලි දැක්වීම …ඒ හරහා ආරක්ශාව හා අශිර්වාදය බලාපොරොත්තු වීම ඇදහීමක් විදිහට සරලව කියන්න පුළුවන්. ඒ එක්කම ගරු සැලකිලි නොදැක්වූවොත් දඬුවම් ලැබේවියැයි යන බිය ඔවුන් තුල ඇතිවෙනව. එහෙමත් නැත්නම් කන්ඩායමේ අනිත් අය විසින් මේ බිය ඇතිකරනව.

නමුත් ආගමක් කියන්නෙ වටිනාකම් හා මූලධර්ම වටා එකතුවෙන ඇදහිලි ක්‍රමයක්. ( අද තියෙන්නෙ ආගම්ද ඇදහිලිද කියන එක වෙනම ප්‍රශ්ණයක්).

අදට අවුරුදු පනස් දාහකට විතර කලින් ඇදහිලි බිහිවෙනව . මිනිස්සු ඉරට හඳට වඳිනව.. තරු වලට නමස්කාර කරනව.. හුලඟ.. වලාකුළු වලට වඳිනව.  ඉහල කඳු මුදුනක්.. පර්වතයක්.. විශාල ගහක්.. බෙනයක්.. ගුහාවක් වගේ ඔනෑම වස්තුවකට වඳින්න පෙලඹෙනව.  ගින්දර හොයා ගත් මුල් කාලෙ .. ගින්දර පාලයනය කරන්න ඉගෙන ගන්න කාලෙ මේ අය ගින්දර සලකන්නෙ දෙවියෙක් විදිහට. අද වුනත් මේ විශ්වාසයන් වෙනස් වෙලා කියල හිතන්න අමාරුයි. ආගම් නිර්මාණය වෙනවත් එක්කම උස් කඳු මුදුනක්.. පර්වතයක් ..හෝ විශාල ගහක් අදාල ආගමට සම්භන්ධ කරනව.  ඉන්පස්සෙ ඒ අගමේ දෙවියෙක් හෝ ශාස්තෲවරයෙක් නමින් මේ කියන වස්තූන්ට වන්දනා කරනව. ( මේක වෙනම කතා කල යුතු මාතෘකාවක්).

තමන්ගේ ප්‍රමානයට වඩා විශාල .. තේරුම් ගන්න අපහසු ඕනෑම දේකට වැඳීම ඒ වස්තූන් තුල දෙවියෙක් සිටීයැයි සිතීමට මිනිස්සු පුරුදු වෙනව. ගල් යුගයේ මේ ඇදහිලි  ආරම්භ වෙලා.. පහු වෙද්දි විවිධ නම් වලින් .. සත්තුන්ගෙ නම් වලින්.. දෙවියන් හෝ ඇදහිය යුතු චරිත නිර්මාණය කරනව. නමුත් ඒක පිලිගත් ආගමක් බවට පත්වෙන්නෙවත්.. නැවතීමකින් තොර ඇදහිලි ක්‍රමයක් බවට පත්වෙන්නෙ වත් නෑ.

මේ කාලයේ විවිධ දෙවියන් බිහි වුනත් ඔවුන් හරහා ආගම් බිහි නොවන්නේ හෝ ඒ ඇදහීම් ආගම් ලෙස අද ලෝකය පිලි නොගන්නෙ ඒ නිසයි. 

ක්‍රිස්තු පූර්ව 3600- 2600 කාලයේ ඉදිවූ මෝල්ටාවේ ගන්තිජා පංසල.

එදා ගල් යුගයේ මිනිස්සුන්ව බියට පත් කරපු ප්‍රශ්ණ දෙක අදත් ඒ විදිහටම ඉතුරුයි. මොනවද මේ ප්‍රශ්ණ දෙක. මුලින්ම මේ අයව බියට පත් කරේ මරණය. කෙනෙක් මැරෙන්නෙ ඇයි කියන ප්‍රශ්ණය මේ අය අහනව. 

1. අපි එන්නෙ කොහෙන්ද.. කොහොමද අපි මෙතන ඉපදෙන්නෙ.? ( From Where we come from ) 2. අපි යන්නෙ කොහාටද.. මරනය කියන්නෙ මොකද්ද.. මරණයෙන් පස්සෙ අපි යන්නෙ කොහාටද.? ( What is Death… Why we dead.. What is after Death)

මේ ප්‍රශ්ණ දෙකට අදත් විද්‍යාව තුලින් පිළිතුරු ලබා දීල නෑ.

තවත් අදහසක් තියනව ආගම් හෝ ඇදහීම් බිහිවෙන්නෙ හෙට ගැන නොදන්න නිසා .. හෙට ගැන තියන අවිනිශ්චිතතාවය නිසා කියල. ගල් යුගයේදී හඳ හෝ තරු ගැන..  අහස හෝ විශ්වය ගැන තිබුනු විශ්වාස හා මත වලට විද්‍යාවෙන් පිලිතුරු ලබා දෙනව.  ඒ එක්කම සමහර විශ්වාස හා ඇදහිලි ක්‍රම අතුරුදහන් වෙනව.

එතකොට කොහොමද ආගම් බිහිවෙන්නෙ..?

මුල්ම ආගම විදිහට අද සලකන හින්දු ආගම බිහිවෙන්නෙ ඉන්දු නිම්නයේ ( ඇෆ්ඝන්- පාකිස්තාන භූමියේ).  මේ කතා කරන්නෙ ක්‍රිස්තු පූර්ව 2500-2300 වගේ කාලය ගැන. මේ කාලයේ මෙසපොටේමියානු බිමේ වගේම ඇමරිකානු බිමේත් ශිෂ්ඨාචාර ඉතාම දියුණුයි. උදාහරණයක් විදිහට ඇමරිකානු  මායා ශිෂ්ඨාචාරය.  ඊට අමතරව මැද පෙරදිග ( අරාබි කලාප).. ගල්ෆ් කලාප වල විවිධ කුඩා ජන කන්ඩායම් සංවිධානය වෙනව. උදාහරනයක් විදිහට යුරෝපයේ සික්ලාඩියන්  ( “Cycladian”). නමුත් මේ කණ්ඩායම් පිලිගත් ශිෂ්ඨාචාර විදිහට පිලිගැනෙන්නෙ නෑ.

මෙතනින් පස්සෙ මේ සටහන කතංදරයක් විදිහට අපිට ලියන්න පුළුවන්.

ක්‍රිස්තු පූර්ව දෙදාහ පමන කාලයේ ජීවත් වූ ඒබ්‍රහම් නමින් හැඳින්වෙන පුද්ගලයෙකුගෙන් අපිට කතාව පටන් ගන්න පුලුවන්. එයා පැවත එන්නෙ නෝවාගෙන්.  (Genesis chapter 10 verses 21–30 ). නොවා කියල කියන්නෙ ක්‍රිස්තු පූර්ව  2200- 2000 වගේ අවධියක ( සමහර විට ඊට පෙර) ජීවත් වූ පුද්ගලයෙක්. නමුත් සමහර විශ්වාස වල හැටියට නෝආ ජීවත් වෙලා තියෙන්නෙ දැනට අවුරුදු 12,000 කට කලින්.

නෝවාගේ නැවට ගොඩවෙන සතුන්- පැරනි සිතුවමක්– Edward Hiks

 දෙවියන් විසින්  ඉර හඳ.. තරු.. වලාකුළු හා ලෝකය මැවූ බවත්.. ආදම් හා ඒව නමින් ලොව පලමු මිනිසා හා ගැහැනිය මැවූ බවත් තමයි ලේඛන වල   සටහන් වෙලා තියෙන්නෙ.  (යුදෙව් ලේඛන.. බයිබලය පරන ගිවිසුම). මිනිසුන් දෙවියන්ට විරුද්ධව කැරලි ගැසූ නිසා හෝ දෙවියන්ට ඇහුම් කන් නොදුන් නිසා ගංවතුරකින් ලෝකය විනාශ කරන්න දෙවියන් තීරණය කරනව.  නමුත් නෝවා කියන පුද්ගලයව තෝරගන්නව මිනිස් පැවැත්ම හා ලෝකය ඉදිරියට ගෙනි යන්න.  ලෝකයම විනාශ කරන මේ ගංවතුරෙන්  බේරෙන්න නෝවා ලොකු නැවක් හදනව. මේ නැව හදන්න උපදෙස් දෙන්නෙ ලෝකය නිර්මානය කරපු  දෙවියන් විසින්.  නැව නිර්මාණය කරාට පස්සෙ  සෑම සත්ව වර්ගයකින්ම ජෝඩුව බැගින් අරගෙන නෝවා මුහුදට යනව. මේ ගං වතුරෙන් ලෝකයේ ජීවත් වූ සියළුම සත්තු හා මනුශ්‍යයින් විනාශ වෙනව, නෝවාගේ නැවේ ඛාන්ඩය හැර. එතකොට  අද ජීවත්වෙන සියළුදෙනාම නෝවාගෙන් පැවත එන්නො. ආබ්‍රහම් ( ආබ්‍රහම්.. ඊබ්‍රාහීම්)  ශාස්තෲවරයා නෝවාගෙන් පැවත එන්නෙක්. දැන් අහන ප්‍රශ්ණය තමයි.. කොහොමද අපි ආබ්‍රහම් හෝ නෝවා ගැන දන්නෙ.ඒ කටින් කට පැවත එන කතාංදර හා ජනප්‍රවාද මගින්. මේ ජනප්‍රවාද හා ඇදහිලි මුල්ම වරට ලියවුනු බව කියන්නෙ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ යුදෙව් ජාතිකයන් මගින්.  ක්‍රිස්තියානි ආගමේ බයිබලය හා ඉස්ලාම් ආගමේ කුරානය වගේ යුදෙව් ආගමේ ශුද්ධවූ ග්‍රන්ථය හෝ ග්‍රන්ථ එකතුව තමයි “ ටනාක් “ කියන්නෙ.

ක්‍රිස්තියානි ආගමේ මුල් ගිවිසුම කියල හඳුන්වන්නෙත් මේ ලේඛනමයි.. පසු කාලීනව එය ඉස්ලාම් ආගම විසින්ද පිලිගන්නව) (මේ “ ටනාක් “ ලියවෙන කාලය වෙද්දි යුදෙව් ජාතිකයන් ඉන්නෙ තමන්ගෙ බිමෙන් පිටුවහල් වෙලා බැබිලෝනියාවෙ.) ටෝරාහ් කියල හඳුන්වන්නෙ ටනාක් ග්‍රන්ථ එකතුවේ පලවෙනි ග්‍රන්ථ පහ.

වයස අවුරුදු සීයට ආසන්න වෙලා හිටපු ආබ්‍රහම්ට දරුවන් නැහැ. ඔහු ධාර්මික පුද්ගලයෙක් නිසා දරුවෙකු ලබාදී ඔහුගේ පරපුර ශක්තිමත් කරන බවට දෙවියන් විසින් පොරොන්දුවක් වෙනවආබ්‍රහම් දෙවියන් සමග කතා කල බවත් ඔහුගේ විශ්වාසය පෙන්වීම සඳහා තමන්ගේ එකම පුතු  බිලිදෙන ලෙස ඉල්ලීමක් කල බවත් මේ  ආගම් තුනේම විශ්වාස කරනව. 

මේ අදහසට දුකෙන් එකඟ වෙන ආබ්‍රහම් දෙවියන් වෙනුවෙන් තමන්ගේ දරුවා බිලිදෙන්න සූදානම් වෙනව.ආබ්‍රහම්ගේගේ විශ්වාසය තේරුම් ගත් දෙවියන් ආබ්‍රහම් හා  ඔහුගේ පවුලට ආශිර්වාද කරනව. 

ආබ්‍රහම් විසින් ඉසාක් බිලිදීමට සූදානම් වීම. – කරවාජ්ජියෝ

ආබ්‍රහම් ඉපදෙන්නෙ ආබ්‍රහම් බෙන් ටේරා කියන ප්‍රදේශයේ ( වර්ථමාන ඉරාකය). එයා ජීවත්වෙන්නෙ වර්ථමාන ඉරාකය.. සෞදි අරාබිය.. ව ගේ ප්‍රදේශවල.  මේ අය එඩේරුන් .. තැනින් තැන ජීවත් වීම තමයි මේ අයගෙ ස්වභාවය. ඒ එක්කම ඒබ්‍රහම්ට බිරින්දෑවරු තුන්දෙනෙකුත් පුතුන් හත්දෙනෙකුත් ඉන්නව. 

ආබ්‍ර්හම්ගේ දරුවන්. 1. ඉශ්මායෙල් 2. ඉසාක් 3.සිම්‍රාන් 4.ජොක්ශාන් 5.මෙධාන් 6.මිදියාන් 7. ඉශ්බාක් 8.ශුආහ්  

ඊශ්මායෙල් ආබ්‍රහම්ගේ වැඪිමල් පුතු ලෙස නොසැලකෙන්නේ ඔහුගේ මව වහල් ස්‍ත්‍රියක් වූ නිසා බව යුදෙව් ජනතාව පිලිගන්නා කාරණයක්. මේ කාලයේ මේ ප්‍රදේශයේ මේ ක්‍රමය සාමාන්‍ය දෙයක්.  දෙවියන්ව සතුටු කරපු නිසා ආබ්‍රහම්වත් ඔහුගේ පවුලේ අයටත් ලැබෙනව ජීවත් වීමට ඉතාම සුදුසු සුන්දර බිමක්. පොරොන්දු වූ දේශය නමින් හැඳින්වෙන මේ බිමේ නම කානාන්. ( අද ඊශ්‍රා‍යල් පලස්තීන බිම් ප්‍රදේශ).  දෙවියන් විසින් පොරොන්දු වූ දේශයේ.. දෙවියන්ගෙ අග නගරය වෙන්නෙ ජෙරුසෙලම. ආබ්‍රහම් අරාබි ජාතිකයෙක්ද යුදෙව් ජාතිකයෙක්ද කියන ප්‍රශ්ණය මතුවෙන්නෙ පහු කාලීනව. මොනව වුනත් අරාබි ජාතිකයන් විශ්වාස කරන්නෙ ආබ්‍රහම් හා එයාගෙ පුත්‍රයා එකතුවෙලා දෙවියන් වෙනුවෙන් ගොඩනගපු පලමු පංසල තියෙන්නෙ මෙක්කා වල බව ( අද ඉස්ලාම් බැතිමතුන් වන්දනාමාන කරන ස්ථානය).

මෙන්න මේ ආකාරයටයි ආබ්‍රහම් හා එයාගෙ පවුලෙ අයට පොරොන්දු වූ දේශය ලැබෙන්නෙ.  එතකොට අපිට ඉතුරු වෙන තවත් ප්‍රශ්ණයක් තමයි තෝරාගත් පිරිස ආබ්‍රහම්ගෙන් පැවතෙන යුදෙව්වන් නම් ඉතිරි පිරිසට මොකද වෙන්නෙ කියල.

මේ කාලය වෙද්දි විවිධ අරාබි ගෝත්‍ර වල විවිධ දෙවියන් ඇදහීම සිද්ධ වෙනව. උදාහරනය විදිහට ඩැගොන් ( Dghon), නිනාත්‍රා ( Ninathra), ලෝඩ් මට්සියු ( Lord Matsiu) වගේ බොහෝ දෙනෙක්ගෙ නම් කියන්න පුළුවන්.  ඊට අමතරව ඉන්දු නිම්නයේ ඉඳල එන වෙලෙන්දන් හා පූජකයන් මගින් හින්දු දෙවිවරුත් අරාබි දේශයන්ට ඇතුල් වෙනව. අරාබි වරුන් මේ අයවත් පිලිගන්නව. ඔය ආකාරයට විවිධ ප්‍රදේශවල විවිධ දෙවිවරු පාඩුවේ පාලනය කරනව තමන්ගෙ ප්‍රදේශ. දැන් අපි ඇවිල්ල ඉන්නෙ ක්‍රිස්තු පූර්ව 1400 ට. 

මේ කාලයේ කානාන් දේශය ආක්‍රමනය කරනව ඊජිප්තු පාරාවන් විසින්. ඒ අය ඒබ්‍රහම්ගෙන් පැවත එන යුදෙව් ජාතිකයන්ව වහලුන් විදිහට පාවිච්චි කරනව ඊජිප්තුවේදි. මෝසස් නම් ශාස්තූවරය දෙවියන් විසින් තෝරගෙන එයාගෙ නායකත්වය යටතේ යුදෙව්වන්ව නැවත තමන්ගෙ බිමට ඒ කියන්නෙ කානාන් දේශයට එක්කරගෙන ඒම සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1250 වගේ කාලයේ.

ඊශ්‍රායල් ජනතාවට මග පෙන්වූ මෝසස් .
( තමන්ගේ ජනතාව යුද්ධ කරන තෙක් කඳු මුදුනකට වී අත් උස්සාගෙන සිටි ආකාරය දැක්වෙන චිත්‍රයක්)

ඉන්පස්සෙ මේ බිම විවිධ යුද්ධ වලට මුහුන දුන්නත් බොහොම සශ්‍රීක රාජ්‍යයක් බවට පත්වෙනව.  ක්‍රිස්තු පූර්ව 1000 දි ඉපදෙන ඩේව්ඩ් ( දාවිත් ) රජු කානාන් හෙවත් ඊශ්‍රායලයට ඉතාම වැදගත් රජ කෙනෙක්.  ඔහුගේ පුත්‍රයා සොලමන් විසින් කානාන් දේශයේ අගනුවර වන ජෙරුසෙලම්හි දෙවියන් වෙනුවෙන් ගොඩ නැගෙන ප්‍රථම පංසල නිර්මාණය කරනව. ඒ වගේම ඊශ්‍රායලය එක් සේසත් කරන අවසන් රජතුමා වෙන්නෙත් සොලමන්. මේ කාලෙ වෙද්දි ලෝකයේ බලවත්ම ශිෂ්ඨාචාරය වෙන්නෙ රෝම අධි රාජ්‍ය.

ක්‍රිස්තු පූර්ව 750 දී පමන රෝම නගරය ( වර්ථමාන ඉතාලිය) මූලික කරගෙන රෝම අධිරාජ්‍ය තමන්ගෙ බලය පතුරුවනව. රෝම වරුන් ඉතාම දක්ශයි යුද්ධයට වගේම පාලනයට.  මේ අය යම් කිසි රටක් හෝ පලාතක් යටත් කරගන්න කලින් හොයල බලනව ඒ පලාතේ මොන ඇදහීම් ක්‍රමද තියෙන්නෙ මොන දෙවියන්වද අදහන්නෙ කියල. ඉන්පස්සෙ යුද්ධ කරන කාලය තුලදිම ප්‍රචාරයන් යවනව ඒ අයගෙ දෙවියන් රෝම දෙවියන්ට යටත් වුනු බවට. යුද්ධය දිනුවට පස්සෙ අදාල රට රෝම අධිරාජ්‍යයට ඈඳගන්නව වගේම ඒ රටේ දෙවියන් හෝ දෙවිවරුත් මේ අය රෝම දේව පවුලට ඇතුලත් කරගන්නව. මේ ක්‍රමය මගින් හැමෝම සතුටු වෙනව.

ග්‍රීක දෙවියෙක් වූ සියුස් රෝම සංස්කෘතිය තුල ජුපිටර් බවට පත්වෙනව.

හේරා ජූනෝ බවට පත්වෙනව.

පොසෙයිදොන් – නෙප්චූන්. ( Poseidon – Neptume)

ඇතීනා- මිනර්වා. ( Athena – Minerva)

ඇප්‍රොදිත්- වීනස් ( Aprodith – Minerva) හර්මෙස්- මර්කරි ( Hermes – Mercury )

 මේ වගේ ඕනෙ තරම් උදාහරන දෙන්න පුළුවන්. රෝමන් වරු ලංකාව යටත් කරගත්ත නම් කතරගම දෙවියො කටාරිස් වෙන්න ඉඩ තිබුන.

ලොව මෙතෙක් නිර්මාණය වූ බලවත්ම රාජ්‍යය.
රෝම අධිරාජ්‍යය ක්‍රිස්තු වර්ශ 117 .

ඒ එක්කම වහල් සේවය රෝම අධිරාජ්‍ය තුල ඉතාම සංවිධානාත්මකයි. අපි අද ඇමරිකානුවන්ට චෝදනා කලත්  මුල්ම වහල් සේවය ඇරඹෙන්නෙ මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය තුලදියි.  ඊජිප්තු ශිෂ්ඨාචාරයේ වහල සේවය ගැන ලෝකයම දන්නව. රෝම වහල් සේවා සංවිධානයත් ඉන්දියානු කුල ක්‍රමයත් අතර සමහර සමානකම් දකින්න පුළුවන්. රෝම වැසිකිලි සේවාවන්ට යොදාගත් වහළුන් වෙනත් රැකියා වලට යොදාගන්නෙ නැහැ. ඉන්දියානු දලිත්ස් වරු වගේ. මේ කාලය වෙද්දි කානාන් දේශයේ යුදෙව්වන් විවිධ ආක්‍රමන වලට මුහුන දෙනව. රෝමය අති විශාල රාජධානියක් වෙද්දි කානාන් හෙවත්  ඊශ්‍රායලය කුඩා කොටස් වලට කැඩෙනව. බොහොමයක් යුදෙව්වන් අසල් වැසි රාජ්‍ය වල ජීවත් වෙනව. මේ අය ඊශ්‍රායල් බිම් යටත්  කර ගත්තත් යුදෙව් දෙවියන් ගැන වැඩි යමක් දන්නෙ නෑ. අනිත් අතින් කුඩා යුදෙව් කණ්ඩායම් ජෙරුසෙලමෙත් ඊශ්‍රායල් හා පලස්තීන බිම්වලත්  රැඳිල ඉන්න අවසර ගන්නව. සමහර කන්ඩායම් රෝම අධිරාජ්‍ය යටතේ කුඩා ස්වයං පාලනයන් ගෙනියනව. මේ යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන අය .. ඒ වගේම ඒ අය වෙළඳාමේ ඉතාම දක්ශයි.මේ නිසාමදෝ අනිත් ජන කොටස් යුදෙ ජාතිකයන් දිහා බලන්නෙ ටිකක් පරිස්සමින්. බොහෝ වෙලාවට ඔවුන්ව ප්‍රහාරයට ලක්වෙනව.

යුදෙව් ජාතිකයන් පවුල් පිටින් සංක්‍රමණය වෙනව ග්‍රීක හා අරාබි ප්‍රදේශ වලට. අරාබි ජාතීන් හා ගෝත්‍ර බොහොමයක් යුදෙව් ආගම වැලඳ ගන්නව. හේතුව ආබ්‍රහම් මේ දෙගොල්ලන්ගෙම පියා විදිහට ඒ අය සලකන නිසා. නමුත් මේ දෙගොල්ලගෙ චාරිත්‍ර විදි වෙනස්

අවුරුදු සිය ගානක්  අරාබි බිම් වලින් පිටත්වෙලා ගිය යුදෙව්වන් ආපහු අරාබි බිම් වලට එද්දි මේ අයගෙ ගති සිරිත් බොහොමයක් වෙනස් වෙලා.  ඒ එක්කම කලින් කටින් කට ගිය ඇදහිලි හා කතාංදර මේ අය ටෝරාහ් කියන ග්‍රන්ථයක ( මුලින්ම පැපිරස් පත්වල ) ලිවීම පටන් අරගෙන තියනවමේ ලිවීම් වලට ඇතුලත් වෙනව මේ දක්වා ඉතිහාසයත් ඒ එක්කම දෙවියන් විසින් තෝරගත් පණිවිඩ කරුවන් හරහා එවන පණිවිඩත්.

මේ පනිවිඩ අතර සඳහන් වෙන එක පණිවිඩයක් නිසා ලෝක ඉතිහාසය සදහටම වෙනස් වෙනව. මොකද්ද මේ පණිවිඩය.  ඒ තමයි දෙවියන්ගෙන් ආශිර්වාද ලත් පුද්ගලයෙක් ඉදිරියේදී ඉපදීමට නියමිතයි.  මේ තරුණයා විසින් ලොව පුරා විසිරිලා ඉන්න යුදෙව්වන් එක් සේසත් කරනව.. ඊශ්‍රායලය නැවතත් බලවත් රාජ්‍යයක් කරනව.. ඔහු විසින් සියළුදෙනා දුකින් නිදහස් කරනව…  ඒ එක්කම ජෙරුසෙලමේ දෙවියන්ගේ පංසල නැවත ගොඩ නංවනව.   මෙසියා.. මෙශියා හෝ මෙසායා නමින් හැඳින්වෙන මොහු ලෝකය ගලව ගන්නව වගේ පනිවිඩයක් ගැන තමයි මේ කියන්නෙ. මෙශියා ඊශ්‍රායලයේ හිටපු දීප්තිමත්ම රජු වන ඩේවිඩ්ගෙන් ( King David)  පැවත එන්නෙක් කියල තමයි වැඩිදුරටත් මේ පනිවිඩේ සටහන් වෙන්නෙ.  යුදෙව් ජාතිකයන් වගේම .. අරාබි.. .. පිලිස්තියා හෙවත් පලස්තීන.. සිරියානු ජාතිකයන් පවා මේ පනිවිඩේ ගැන අවධානය යොමු කරනව.

යුදෙව් ජාතිකයන්ගේ ශුද්ධ වූ ලියවිලි- ටෝරාහ්

දැන් අපි ඇවිල්ල ඉන්නෙ ක්‍රිස්තු වර්ශ එක වගේ කාලයට. මෙන්න මේ කාලෙ උපදින පුද්ගලයෙක් නිසා ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් යනව.  මේ වෙද්දි ලංකාව පාලනය කරන්නෙ අනුරාධ පුර යුගයේ භාතිකාභය රජු. ලංකාවෙ රජවරුත් අන්තහ්පුර තියාගෙන .. බිරින්දෑවරුන් හෙවත් දේවින්නාන්සෙල කීප දෙනෙක් නඩත්තු කරගෙන බොහොම විනෝදෙන් ඉන්නෙ. නමුත් රෝමන් ජාතිකයන්ට වගේ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට රජවරු භුක්ති විඳින මේ වාසි ලැබෙන්නෙ නෑ.

ඇදහිලි හෝ ආගම් ගැන අපිට ප්‍රශ්ණ කරන්න අමාරුයි  ඒ ආගම් හෝ ඉතිහාසය ගැන සරල දැනුමක්වත්  නැතිව.  යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් එකම දෙවියෙකු අදහනව නම් ඇයි ඒ අය අතර මේ තරම් ගැටළු හා යුද්ධ නිර්මාණය වෙන්නෙ කියන එක අපේ මූලික ප්‍රශ්ණය. ආගම් නිර්මාණය වීමේ පසුබිම කෙටියෙන් විස්තර කරන එක ලේසි පහසු වැඩක් නෙවේ.  ඒ නිසයි මේ ලියවිලි මෙතරම් දිග වෙන්නෙ.  ඒ ගැන කණගාටුයි.

ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් වල ආර්ම්භය යුදෙව් නම් ..යුදෙව්වන්ගේ ඇදහිලි හෝ මූල ධර්ම මොනවද කියල අපේ මිත්‍රයෙක් අහල තිබුන. ඒ අය විශ්වාස කරනව දෙවියන් විසින් මෝසස්ට ලබාදුන් නියෝග දහයක් ගැන.  මේ නියෝග මේ ආකාරයටම ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් තුල ( පසු කාලීනව) පිලිගන්නව.  මෝසස් කියන්නෙ ශාස්තෲවරයෙක් , එයා තමයි යුදෙව් ජනතාව ඊජිප්තු වැසියන්ගෙන් නිදහස් කරගෙන ඊශ්‍රායලට එක්කරගෙන එන්නෙ.  මේ කතා කරන්නෙ ක්‍රිස්තු පූර්ව 1400 දී පමන සමාජය පිලිපැදිය යුතු නීති රීති ගැන.  ඇයි මේ නීති රීති වැදගත් වෙන්නෙ.? පසු කාලීනව රාජධානි බිඳ වැටෙන්න.. අලුත් රටවල් ගොඩ නැගෙන්න.. යුද්ධ හා ගැටුම් ඇතිවෙන්න මේ නීති හෝ පනත් බලපානව.

ටෙන් කමාන්ඩ්මන්ට්ස් හෙවත් දස පනත විදිහට මේ නීති මාලාව හැඳින්වෙනව.

1. මම ඔබේ දෙවියන්ද නායකයාද වෙමි. මට පෙර වෙන දෙවිවරුන් සිටියේ නැත.  ( හින්දු ආගමේ දෙවිවරු තරහ නොවේ යැයි විශ්වාස කරමු).

2. වෙනත් මිත්‍යා දෙවිවරුන් වන්දනා කිරීම නොකල යුතුය.

3. මගේ නම ( දෙවියන් යන නම) කිසිදු විටක අයුතු ලෙස බාවිතා නොකල යුතුය. ( වැඳීම පිනිස පිලිම හෝ රූප පාවිච්චි නොකල යුතුය යනුවෙන් හැඳින්වෙන්නෙ මේ වාක්‍ය විය යුතුයි)

4. සබාත් දිනය ශුද්ධවූ දිනයක් ලෙස තබා ගත යුතුය. (ආගම් තුන විසින් සිකුරාදා.. සෙනසුරාදා හා ඉරිදා ලෙස මේ දිනය වෙන් කර ගන්නව)

5. ඔබේ මවට හා පියාට ගරු කරන්න.

6. මිනිස් ඝාතනයෙන් වැලකිය යුතුය.

7.විවාහක පුද්ගලයෙකු නම් තම සැමියා හෝ බිරිඳ හැර අන් අය සමග ලිංගික සබඳකම් වලින් වැලකිය යුතුය.

8. සොරකම් නොකල යුතුය.

9. බොරු නොකිය යුතුය.

10. අන් අයට අයිති දෙයට ආශා නොකල යුතුය.

අපි ඉදිරියේදී කතා කරන බොහොම මාතෘකා වලට මේ කරුණු වැදගත්.හේතුව මේ කරුණු යුදෙව් ග්‍රන්ථ වල හෙවත් ටෝරා තුල සඳහන් වුනාට පසු කාලීනව බිහිවන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් වලින් පිලිගන්නා මූල ධර්ම බවට පත්වෙනව. නමුත් බයිබලයේ පරන ගිවිසුමේ එකම තැනක වත් මේ පනත් හෝ නීති දහය එකට සඳහන් වෙලා නෑ.  

සබත් හෝ ශබාත් දවස කියන්නෙ මොකද්ද.? සතියේ දවස් හතෙන් හයක් වැඩකරල එක දවසක් විවේක ගන්න ඕනෙ . මේ දවස සෙනසුරාදා. සෙනසුරාදා කීවට සෙනසුරාදාම නෙවේ.  හේතුව යුදෙව් කැලැන්ඩරයට අනුව දවස පටන් ගන්නෙ ඉර බැහැගෙන යන අවස්ථාවෙන්.  ඊලඟ දවසෙ ඉර බහින විටයි දවස අවසන් වෙන්නෙ.  ඒ කියන්නෙ සිකුරාදා හා ඉරිදා අතර දවසක්.   පසු කාලීනව මේ දවස මුස්ලිම් වරුන්ට සිකුරාදා බවටත්.. ක්‍රිස්තියානි භක්තිකයන්ට ඉරිදා බවටත් පරිවර්තනය වෙනව.

අපි ආපහු පුරුදු කතාවට යමු.  රෝම අධිරාජ්‍ය බලවත්… අරාබි කලාපය වෙලඳාමෙන් දියුණු වෙන්නෙ රෝම අධිරාජ්‍ය හා ඉන්දියානු, චීන වෙලඳුන්ගේ ගනුදෙනු මේ කලාපයේ සිද්ධවෙන නිසාත් අරාබි ජාතීන් වෙලඳාමේ දක්ශයන් නිසාත් කියල අනුමාන කරන්න පුළුවන්.

ඒ එක්කම පර්සියාවෙන් හා බැබිලෝනියාවෙන් නිර්මාණය වූ දැනුම ( ගණිතය.. තාරකා විද්‍යාව.. වෛද්‍ය විද්‍යාව .. කෘශි කාර්මික උපක්‍රම)  අරාබි ජනතාව අතර දැනුම වැඩි දියුණු කරනව. අමතක කරන්න නරකයි රෝමයේ වගේම අරාබි ප්‍රදේශවලත් වහල් සේවය සාමාන්‍යයයි. පිරිමි කාන්තා දෙපක්ශයේම වහළුන් විවිධ වැඩවලට යොදාගන්නව අරාබි කලාප වලත්. මෙක්කා  ( Mekkha)  හෙවත් මක්කම කියන්නෙ හබ් එකක් වගේ නගරයක්. උතුරින් හා දකුනින් එන වෙළෙඳුන් එකට හමුවෙන මේ නගරයේ ජලය සුලභයි. ( කාන්තාර ප්‍රදේශ වල නගරයක් නිර්මාණය වීමට මූලික හේතුවක් වෙන්නෙ ජලය). ඒ එක්කම ආබ්‍රහම් හා එයාගෙ පුත්‍රයා ජාකොබ් විසින් ඉදිකලා යැයි සැලකෙන පන්සල අරාබි ජනතාව අතර ඉතාම ගෞරවයෙන් සලකන ස්ථානයක් බවට පත්වෙනව.  අමතක කරන්න නරකයි අරාබි ජාතීන් විශ්වාස කරනව ආබ්‍රහම් විසින් දෙවියන් උදෙසා නිර්මාණය කල මුල්ම පංසල තියෙන්නෙ මෙක්කා වල බව. 

මේ වෙද්දි  මේ කලාපයේ විවිධ දෙවිවරු ඉන්නව.

උදාහරණ විදිහට.  හුබාල්.. අල් උස්සා…අල් ලාට්…  මනාත්..  (Hubal and the goddesses al-Lāt, al-‘Uzzā, and Manāt,)

ඊට අමතරව ඉන්දියාවෙන් එන ශිව… නාථ වගේ දෙවිවරුත්.. පැරනි ඊජිප්තු හා පර්සියානු දෙවිවරුත් මේ අතර ඉන්නව. මේ අතරෙ නබතියන් දෙවිවරුන්ටත් විශේෂ තැනක් හිමිවෙනව ( ජෝර්දානයේ පෙට්‍රා නගරය ගොඩ නගන්නෙ නබතියන් වරුන් විසින්) ගෝත්‍ර හෝ කන්ඩායම් සිය දාස් ගානක් ඉන්න අරාබි කලාපයේ මේ වගේ විවිධ දෙවියන් හා ඇදහීම් තිබීම සාධාරණයි. මේ විවිධ ගෝත්‍ර වෙලඳාමේ යද්දි පහුකරන නගරයක් තමයි මෙක්කා. මේ අය ආබ්‍රහම්ගෙ පංසල හෙවත් කාබා ( Kaaba)  වන්දනා කරන්නත් යනව. මෙක්කා අරාබි ජාතිකයන් සාධාරනයි.  ඒ අය මේ පංසල ඇතුලෙ විවිධ ඇදහීම් වලට අයිති දේවරූප හා පිලිම තැන්පත් කරනව.

පසුකාලීනව සොයා ගන්නා සාක්ශි අනුව කාබා පංසල ඇතුලෙ විවිධ දේව පිලිම 360ක් තියනව.  වෙලඳාමෙත් කෘශි කර්මාන්තයත් වැදගත් නගරයක් වූ මෙක්කා ආගමික වශයෙන්ද දියුණු වෙන්නෙ සෑම ආගමකටම අයිති වෙලඳුන් ..  ඒඬේරුන්.. ගොවියන් මේ කාබා වන්දනා කිරීමට පැමිනෙන නිසයි. යුදෙව්වන්ගේ හෙවත් දෙවියන් විසින් තෝරාගත් ජන කොටස ජීවත් වෙන කානාන් හෙවත් ඊශ්‍රායලය මේ වෙද්දි විවිධ කොටස් වලට කැඩිල පාලනය වෙන්නෙ. මෙන්න මේ කාලෙ අහන්න ලැබෙනව ඊශ්‍රායල් භූමි ප්‍රදේශ වල සංචාරය කරන අපූරු තරුණයෙක් ගැන.   ඉතාම ආකර්ශණීය අදහස් ඇති මේ තරුණයා විවිධ මාතෘකා ඔස්සේ දේශනා කරමින් සංවාද පවත්වමින් ඊශ්‍රායල් පලස්තීන සිරියා බිම් ප්‍රදේශ වල සැරි සරන බවට ආරංචි පැතිරෙනව.  මේ මනුස්සයා ඇත්ත කතා කරන .. මහළු හෝ මූලධර්මවාදී යුදෙව් පූජකයන්ට බිය නැති පුද්ගලයෙක් විදිහටත් ප්‍රසිද්ධයි. මේ කාලයේ යුදෙව්වන් විසින්  ඒ අයගෙ දෙවියන් වන්දනා කිරීමට විශාල මාලිගා.. පංසල් නැත්තං පල්ලි නිර්මාණය කරල තිබුනු කාලයක්.

යේසුස් ජේසු හෝ යේශුවා නමින් හැඳින්වෙන මේ තරුණයා කියනව දේව මාලිගා පූජකයන්ට විතරක් නෙවේ සාමාන්‍ය මිනිස්සුන්ටත් අයිති බව.

යේශුවා හෝ යෝශුවා කියන්නෙ හෙබෲ නමක්.  Y’shua (Hebrew: ישוע).යේසුස් ජේසු හෝ යේශුවා නමින් හැඳින්වෙන මේ තරුණයා කියනව දේව මාලිගා පූජකයන්ට විතරක් නෙවේ සාමාන්‍ය මිනිස්සුන්ටත් අයිති බව. යේශුවා (Yeshua) ඉපදෙන්නෙ යුදෙව් සමාජයේ යුදෙව් පවුලක. කතා කරන්නෙ ඇරමයික් භාශාව.  ( Galilean dialect of Aramaic හෙබෲ කියන්නෙ ඊශ්‍රායල් භාශාව. යේසුස්ට ඊශ්‍රායල් භාශාව යම් ප්‍රමාණයකට කතා කරන්න පුළුවන් වුනත් ඔහුගේ දේශනා පැවැත්වෙන්නෙ ඇරමයික් භාශාවෙන්. ( මැතිව් හා මාර්ක්ගේ ගොස්පල්).

ඒ එක්කම සමහර දේශණා හීබෲ බසින් කල බවටත් සඳහන් වෙනව. – ලූක් 4.16.

මේ වෙද්දි රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන භාශාව ලතින්. නමුත් ග්‍රීක භාශාවත් ඉතා ඉහලින් පිලිගන්න පොදු භාශාවක්.. රෝම ආධිරාජ්‍ය විසින් ග්‍රීක පාලනය අවසන් කරල තමන්ගෙ බලය පැතිරෙව්වත් ග්‍රීක භාශාව අන්තර්ජාතික භාශාව විදිහට සැලකුනා කියල අපිට අනුමාන කරන්න පුළුවන්. ජේසුස් නම් මේ තරුණයා ඉතාම විප්ලවවාදී අදහස් දරන කෙනෙක්. දුප්පත් පොහොසත් භේදය…  ධනවතුන් හා දේශපාලකයන්ගෙන් සමාජයට සිදුවෙන අකටයුතුකම්… පූජකයන්ගේ දරදඬු නීති රීති මේ තරුණයාගේ විවේචනයට ලක්වෙනව. මෙයා හරි දක්ශයි කථාවෙ.    මේ කාලෙ  විප්ලවවාදීන් සුලභ නෑ.ඒ එක්කම එයා කතා කරන්නෙ ඇත්ත.

ඒ නිසාම ඒ වටා සිය දහස් ගණන් ජනයා එකතුවෙනව. තවත් වැදගත් දෙයක් තමයි යේසුස් දෙවියන්ගේ පුත්‍රයා බවට කටකතා හෝ විශ්වාස පැතිරීම. තවත් අය කියනව ඔහු ඊශ්‍රායලයත් ලෝකයත් ගලවා ගන්න පැමිනි මෙසියා බව. අපිට මතකයි ටෝරා ග්‍රන්ථ වල සඳහන් වෙන යුදෙව් ජනතාව නිදහස් කරගන්නා නායකයෙක් ගැන. සමහර යුදෙව් කණ්ඩායම් විශ්වාස කරනව යේසුස් නමින් ඉපදිලා ඉන්නෙ මේ කියන මෙසී හෝ මෙසියා බව.

නමුත් යුදෙව් පූජකයන් හා මූලධර්මවාදී හෙබෲ වරුන් මේ අදහස බැහැර කරනව.  යේසුස් මෙසියා නම්, ඔහු දෙවියන්ගේ පුත්‍රයා වෙන්න බැහැ….. මෙසියා ඩේවිඩ් රජුගේ පරපුරෙන් පැවතෙන්නෙක් විය යුතුයි. මේ තර්කය පසු කාලීනව යුදෙව් හා ක්‍රිස්තියානි බෙදීමට මූලික සාධකයක් වෙනව. යුදෙව් පොත පතේ සඳහන් වන මෙසියා ඩේව්ගේ මුණුපුරෙක් විය යුතුයි. නමුත් යේසුස් දෙවියන්ගේ පුත්‍රයා නම් ඔහු මෙසියා වෙන්න බෑ.

අනිත් කාරණය යුදෙව්වන්ට අනුව දෙවියන්ට පුත්‍රයෙක් හදන්න.. මිනිස් ශරීරයකට ඇතුල් වෙන්න බැහැ. අනිත් අතින් ඔහු සොලමන් රජු විසින් ගොඩ නැගූ දේව මාලිගාව නැවත ගොඩ නැගීමත් ඊශ්‍රායලය නැවත ලොව බලවත් රාජ්‍ය බවටත් පත්කල යුතුයි. නමුත් මේ තරුණයා කරන්නෙ දේව මාලිගා හා පූජකයන් විවේචනය කිරීමත් යුදෙව් ජනයා පමනක් නොව ලොව සියළුම ජාතීන් දෙවියන් විසින් එක හා සමානව සලකන බවට ප්‍රකාශ කිරීම. එයා කියනව යුදෙව් ජාතිකයන් පමනක් තෝරාගත් ජනතාව බවට විශ්වාස කිරීම අනවශ්‍ය බවත් අප සැමගේ පියාණන් වූ දෙවියන් ලොව සියළුම ජනයාට එක හා සමාවනව සලකන බවත් තමන් ඒ පණිවිඩය බෙදා හරින බවත්.මේ දේශනා රෝමයේ වගේම අරාබිකරයෙත් ප්‍රසිද්ධ වෙනව.  

අරාබි ජාතිකයන්ට හා ගෝත්‍ර වලට මේක ඉතාම හොඳ පණිවිඩයක්.

හේතුව තෝරාගත් ජනතාව යුදෙව් පමණක් වීම මත ඒ අය ඉන්නෙ හිතේ අමාරුවෙන්.නමුත් ජේසු නැමැති දාර්ශණිකයා එහෙමත් නැත්තං ශාස්තෲවරය කියනව ලොව සියළුම ජාතීන් එක සමානයි. දෙවියන් විසින් ලොවට සාමයත් එකමුතුකමත් නිර්මාණය කිරීමට තමාට නියෝග කල බවට. ආබ්‍රහම් වගේම.. මෝසස් වගේම ජේසුස් වත් ශාස්තෲවරයෙක් ලෙස දෙවියන්ගේ පණිවිඩ කරුවෙක් ලෙස අරාබි ජාතිකයන් පිලිගන්නව.( අදත් මුස්ලිම් ජාතිකයන් අතර බුද්ධිමත් කොටස මේ බව විශ්වාස කරනව.. පිලි ගන්නව).

දැන් මොකද වෙන්නෙ..?  ඊශ්‍රායලයේ ඉන්න යුදෙව්වන්ගෙන් කොටසක් ජේසු තමන්ගේ ගැලවුම් කරුවා ලෙස සලකද්දි පූජකයන් හා මූලධර්මවාදී හේබෲවරු ඔහු අපරාධකාරයෙක් ලෙසත්.. දෙවියන්ට අපහාස කරන පුද්ගලයෙකු ලෙසත් දකිනව. අමතක කරන්න නරකයි මේ වෙද්දි ඊශ්‍රායල් භූමිය පාලනය වෙන්නෙ රෝම අධිරාජ්‍ය මගින්. යුදෙව් පූජකයන් හා පාලකයන් රෝමයෙන් ඉල්ලනව ජේසුස්ට දඬුවම් කරන්න කියල.  ඒ අය ඉල්ලනව නඩු විභාගයක් තියල මෙයාව විනිශ්චය කරල මරන දඬුවම දෙන්න කියල. මේ වෙද්දි රෝමය පාලනය වෙන්නෙ සෙසාර් ඕගුස්ටුස් යටතේ. සීසර් විදිහටත් මේ වචනය ශබ්ද කරන්න පුළුවන්. Caesar Augustus (63 BC – 14 AD) රෝම පාලකයන් බුද්ධිමත්. ඔවුන් දන්නව ජේසුස් වටා විශාල පිරිසක් එකතු වෙලා ඉන්න බවත් ඔහුට දඬුවම් කිරීමෙන් දේශපාලන අස්ථාවරත්වය හෝ කැරලි ඇතිවෙන්න පුළුවන් බව. ඒ එක්කම ධනවත් හා බලවත් මූලධර්මවාදී යුදෙව්වන් තරහ කරගෙනත් බැහැ.  මුලින් මේ අය උත්සාහ කරනව මේ නඩුව දුරදිග නොයා බේරගන්න.

නමුත් යුදෙව්වන් ආයෙ ආයෙත් ඉල්ලන්නෙ යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල. අවසානයේදී පොන්ටියුස් පිලාත් (Pontius Pilate) නැමැති ප්‍රාදේශීය නායකයව රෝමය විසින් පත් කරනව මේ නඩුව විභාග කරන්න කියල. පිලාත් උත්සාහ කරනව බරබ්බාස් නම් අපරාධ කාරයා හෝ යේසුස් කියන දෙන්නගෙන් එක්කෙනෙක් බේරගන්න පුළුවන් බවත් අනිකාට මරණ දඬුවම දෙන්න පුළුවන් බවත් කියල යේසුස්ට දඋවමෙන් ගැලවීමේ අවස්ථාවක් දෙන්න. . බර්බ්බාස් හැඩි දැඩි කඩවසම් පුද්ගලයෙක්.  ඒ කාලෙ කාන්තාවන් බරබ්බාස්ට බොහොම කැමති බව කියවෙනව. මොනව වුනත් අන්තිමේදී බරබ්බාස්ව නිදහස් කරන ලෙසත් යේසුස්ට මරණ දඬුවම දෙන ලෙසත් යුදෙව් පූජකයන් ඇතුළු මූලධර්මවාදීන් කෑ ගහනව.

මෙන්න මේ ආකාරයටයි යේසුස් නම් දාර්ශනිකයාව කුරුසයේ ඇණ ගහල මරාදාන්නෙ.

මේ සිද්ධියෙන් මැදපෙරදිග වගේම යුරෝපයත් ( රෝමය)කැලඹෙනව. විශේෂයෙන්ම අරාබි ජාතීන් කෝපයටත් දුකටත් පත්වෙනව මේ සිදුවීමෙන්. ඒකට එක හේතුවක් තමයි යේසුන් නම් ශාස්තෲවරයා හරහා අරාබි ජාතීන්ටත් දෙවියන් වෙත සම්භන්ධ වෙන්න තිබූ හැකියාව.අරාබි ජාතීන් ( පසුව මුස්ලිම් ජාතිකයන්) අදටත් පිලිගන්නෙ යේසුස් විශිෂ්ඨ දාර්ශණිකයෙක් වගේම ශාස්තෲවරයෙක් හෝ දෙවියන්ගේ පණිවිඩ කාරයෙකු බවයි.

දැන් අපිට වැටහෙනව  යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් බිහිවෙන ආකාරය ගැන.

එතකොට මුස්ලිම් වරු බිහිවෙන්නෙ කොහොමද… බුර්කාව හෝ බිරියන් හත් දෙනෙක් පාවා ගැනීම ආගමික නීතියක්ද.. රෝමානු කතෝලික .. ඇන්ග්ලිකන් හෝ ප්‍රොතෙස්තන්ත ආගම් බිහිවෙන්නෙ කොහොමද….  ජේසුස් කියන්නෙ නිල් ඇස් ඇති රන්වන් කෙස් ඇති සුදු ජාතිකයෙක්ද..?

මේ ගැන දෙවනි කොටසින් කතා කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Trending